© AFP

බැංගලෝර්හි පිහිටි ඉන්දීය ක්‍රිකට් ඇකඩමියේ පැවැත්වෙන කුසලතා පුහුණු වැඩසහටන් සඳහා පාණ්ඩ්‍යා එක්වෙනු ඇත. © AFP

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එයින් ඉවත්කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (10දා) නිවේදනය කළේය. තුන් ඉරියව් ක්‍රීඩකයාගේ කාර්යය කළමනාකරණය හේතුවෙන් ඔහුව මෙසේ විවේක ගන්වා ඇත.

පළමු ටෙස්ට් තරග දෙක සඳහා නම් කළ කණ්ඩායමට පාණ්ඩ්‍යා ඇතුළත් විය. නමුත් තේරීම් කමිටුව දැන් ඔහුව ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

“පාණ්ඩ්‍යාගේ මෑත කාලීනව කළ කාර්යය  පිළිබඳව අවධානය යොමුකරමින් ඔහුව ආබාධවලින් වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගත්තා” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් අමිත් චෞද්‍රී පැවැසීය.

කෙසේ වෙතත් බැංගලෝර්හි පිහිටි ඉන්දීය ක්‍රිකට් ඇකඩමියේ පැවැත්වෙන කුසලතා පුහුණු වැඩසහටන් සඳහා පාණ්ඩ්‍යා එක්වෙනු ඇත.

ජුනි 18 එංගන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව මේ දක්වා ඔහු ටෙස්ට් තරග 3ක්, විස්සයි20 තරග පහක් හා එක්දින තරග 17කට ක්‍රීඩා කර තිබේ. එයට ශ්‍රී ලංකා හා කැරිබියන් තරග සංචාර අයත්වන අතර ඉන්දීය සත්කාරකත්වය දැරූ ඔස්ට්‍රේලියා හා නවසීලන්ත තරගාවලිද මිට අයත්ය.

මේ අතර කොල්කටා හි ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය සභාපතිගේ කණ්ඩායම අතර හෙට (නොවැම්බර් 11දා) ආරම්භවීමට නියමිත දෙදින පුහුණු තරගයේදී ඉන්දීය සභාපතිකේ කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව සංජු සැම්සන්ට ලැබී ඇත.නාමන් ඔජා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී ඇති අතර රංජි කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ඇන්මෝල්ප්‍රීට් සිං කණ්ඩායමට නම් කර ඇත.

ටෙස්ට් තරග තුනෙන් පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 16 දා කොල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වෙයි. ඉන්පුසුව පැවැත්වෙන තරග දෙක නාග්පූර් හා දිල්ලිහිදී පැවැත්වෙයි.

මුල් තරග දෙක සඳහා ඉන්දීය සංචිතය – විරාත් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ශිකර් දවාන්, චෙටෙස්වාර් පුජාරා, අජන්කේ රහානේ (උපනායක), රෝහිත් ශර්මා, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා), ආර් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, උමේෂ් යාදව්, භුවනේෂ්වර් කුමාර්, ඉශාන්ත් ශර්මාං

ඉන්දීය සභාපතිගේ කණ්ඩායම – සංජු සැම්සන් (නායක/කඩුලු රකින්නා), ජවන්ජෝට් සිං, බී සන්දීප්, ටැන්මේ අග්‍රාවල්, අභිශේක් ගුප්තා, රෝහන් ප්‍රේම්, ආකාෂ් බන්ඩාරී, ජලාර් සක්සේනා, චාමා මිලින්ද්, අ‍වේශ් ඛාන්, සන්දීප් වැරියර්, රවී කිරන්, ඒ. සිං